පදනම සහ ආරම්භය

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් අරකාවිල නම් හද්දා පිටිසර ගම්මානයේ උපන් ජානකී, කලා කුසලතා රාශියක් සහජයෙන් උරුම කරගන්නවා. කෙළිලොල්ව පාසල් දිවිය නිම කරන ඈ කලා ලොව දිග්විජය කරන අරමුණෙන් කොළඹ නගරයට පා තබනවා.

කාලිංග ඔබේවංශ සුරීන් යටතේ රුහුණු කලා කවයේ පහතරට නර්තනය ප්‍රගුණ කරන ජානකී පසුව ධම්ම ජාගොඩ රංග ශිල්ප ශාලිකවටද සම්බන්ධ වී මානෙල් ජාගොඩ නාට්‍යවේදිණිය ඇතුළු ප්‍රවීණ නාට්‍ය ශිල්පින් යටතේ නාට්‍ය කලාව ද, පද්මිණී දහනායක නර්තන ශිල්පිණිය යටතේ භරත නාට්‍යම් ද කුලසිරි බුදවත්ත සුරින් යටතේ උඩරට නර්තනයද වැඩිදුර හදාරමින් කලාවේ විවිධ ඉසව් ප්‍රයෝගිකවම සොයා යනවා. එහෙත් දැනුම සොයා යෑමේ රෝගයට ඉන් ප්‍රමාණවත් ඔසුවක් නොලැබුණේ යැයි සිතන ඈ පසුව විදෙස් රටවල සංචාරය කරමින් විදේශීය නාට්‍ය, රංගන හා නර්තන ශිල්පීන් රැසක් යටතේ මේ කලාවන් වැඩමුළු සහ පාඨමාලා විශාල ප්‍රමාණයකට සහභාගී වෙනවා.

බ්‍රිතාන්‍ය ජාතික පීටර් හිල් මහතා සමග විවාහවන ඈ, 2006 වසරේදී තම සැමියාගේ සහය ඇතුව ‘දිරිය දරුවෝ’ නමින් කුසලතා සංවර්ධන හා නායකත්ව පුහුණු වැඩමුළුවක් නිර්මාණය කරන්නේ ලංකාවේ පාසැල් දරු දැරියන් ඉලක්ක කරගෙන. ජානකීගේ පරපුරට පාසැල් සමයේ නොලැබුණ අති මහත් වු ප්‍රයෝගික අත්දැකීමක් වන මේ වැඩමුළුවේ හරය හා වටිනාකම් හදුනාගන්නා ශ්‍රී ලංකන් ගුවන් සමගම, ශ්‍රී ලංකන් කෙයාස් ව්‍යාපෘතිය තුළින් දිරිය දරුවෝ වැඩමුළුවට අනුග්‍රහය දක්වමින් එය රට පුරා පාසැල් වලට ගෙනයාමට උර දෙනවා.

විදෙස් සංගීත ඛණ්ඩවලට හෝ ඉලෙක්ට්‍රොනික් සංගීත ඛණ්ඩවලට කැපිච්ච පණුවන් මෙන් උඩ පනින පාසැල් දරු දැරියන් අතරින් වැඩි කොටස අපගේ සාම්ප්‍රදායික බෙර වාදනවලදී ස්නායු අබාධිත පිරිසක් සේ හැසිරෙන, හද කකියවන තත්වයෙන් ජානකීගේ හිත හොදටම රිදී තිබුණෙ ‘දිරිය දරුවෝ’ කරද්දිමයි. මේ ශෝචනිය තත්වයට පිළියමක් ලෙස ලංකාවේ සාම්ප්‍රදායික නර්තන කලාව රැකගනිමින් ප්‍රගුණ කරන ඉදිරි පරම්පරාවක් උවමනා බව ඈ හොදින් වටහගන්නවා.

දිරිය දරුවෝ වැඩමුළුවේ අධ්‍යක්ෂක ලෙස ජානකී ලංකේය සිසු පරපුරේ කලා හැකියාවන් සහ ඔවුන්ගේ අවශ්‍යතා පමණක් නොව දුර්වලතාද මැනවින් හදුනාගෙන නැවතත් තමා උපන් ගම්මානයට පා තබන්නේ ගැමි දරු දැරියන්, වන පස මල් ලෙස මිය යන ජිවිතයෙන් මුදා ගැනීමේ තිර අදිටනින්.

අරකාවිල තම මහ ගෙදරට නුදුරින්ම අක්කර දෙකකට ආසන්න ප්‍රමාණයක් මිලට ගන්නා ඈ තම සැමියාගේ දයාබර මග පෙන්වීම හා උපකාර ඇතිව මේ භූමිය තුළ අරකවිල නර්තන හා නාට්‍ය පදනම (ADTF) පිහිටුවනවා. සංස්කෘතික දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි පදනම (ADTF) සමාගම් පනතෙහි අදායම් නොලබන ආයතනයක් ලෙසත් 2008 වසරේදී ලේඛණගත වෙනවා. පීටර් හිල් නමැති සහෘර්දයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් බිහිවුණු අරකවිල නර්තන හා නාට්‍ය පදනම (ADTF) දැන් මුල් ළමාවිය ගෙවපු ගජ ඉලන්දාරියෙක්.