පදනම පිහිටුවීමේ අරමුණු

(1) ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ශාස්ත්‍රීය නර්තන සහ නාට්‍ය කලාව වඩා නිවැරදි හා අර්ථාන්විතව ප්‍රගුණ කිරීමට සුදුසු පසුබිමක් ඇති කිරීම.

(2) රටේ අඩු අදායම් සහිත පවුල්වල ගැමි දරු දැරියනට සියලු පහසුකම් යටතේ ක්‍රමවත් හැදෑරීමකින් පසු කලා ලොවට පිවිසීමට අවකාශ සැලසීම.

(3) වැඩිදුර අධ්‍යාපනය බලාපොරොත්තු වන අංකුර කලා ශිල්පීන් ලංකාවෙන් බැහැරව විදෙස් කාලා අංශයන් වෙත යොමු කිරීම. විදෙස් උපදේශකයින්, කලා ශිල්පීන් යටතේ පුහුණුවීමට අවස්ථාව සලසා ශ්‍රී ලාංකේය දූ දරුවන්ගේ කුසලතා ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමේ තෝතැන්නක් නිර්මාණය කිරීම.

(4) කලා විෂයයන්ට පමණක් සීමා නොවී සිසු දරු දැරියන්ගේ අභිවෘද්ධිය පිණිස ඉංග්‍රීසි, දෙමළ භාෂා පන්ති, බාහිර කුසලතා සංවර්ධන වැඩමුළු සහ නායකත්වය හඳුනාගැනීම අාදී ක්‍රියාකාරකම් පදනම තුළ පවත්වාගෙනයාම.

(5) ගම්බද නිවෙස්වල ඇතැම්විට පවතින පීඩාකාරී (සමාජ/ආර්ථික) වටපිටාවන් නිසා ළමා ලෝකය අහිමි වූ සහ අධ්‍යාපනයට බාදා ගෙනදෙන පරිසරයට වෙනස් පරිසරයක් ලෙස ද පදනමේ භූමිය විවෘතව තැබීම (විභාග/පාඩම් කටයුතු කරගැනීමට අවශ්‍ය පරිසරය සහ අවශ්‍යනම් සාමූහික විනෝද ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය පරිසරය)

පදනමේ පදනම

අරකවිල නර්තන හා නාට්‍ය පදනම නමින් හඳුන්වන්නට පෙර මේ භූමිය සෙක්කුව නමින් හැඳින්නුවා. ජානකී ගේ සැමියා (පීටර් හිල්) විසින් ගත් මේ ඉඩම අක්කර දෙකකට ආසන්නයි. පැරණි කර්මාන්තයක් විදිහට තෙල් මෝලක් පවත්වාගෙන ගිය සෙක්කුව භූමියෙ පැරණි බංගලාවක් ද තිබුණා. මේ භූමිය පිහිටල තියෙන්නේ කොළඹ – ඉංගිරිය ප්‍රධාන මාර්ගයේ පාදුක්කෙ ඉඳලා කිලෝමීටර 08 ක් දුරින් 125 බස් මාර්ගයේ මීටර් 200 ක් ඇතුළතින්  .

තෙල් මෝල ලෙස පවත්වාගෙන ගිය ශාලාව වෙනස් කිරීමේ වගකීම ජානකී සහ පීටර් පැවරුවේ ‘ ඩිසයින් ෆෝරම් ‘ ආයතනයේ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පී ලිලන්ත විජේපාල මහතාගේ කරපිට. දියණු මට්ටමේ වේදිකාවක් සහ නර්තන පුහුණුවට සුදුසු, ලී පොළව සහිත අනර්ඝ ශාලාවක් ඔහු නිර්මාණය කර දුන්නා.

ජානකීගේත් පීටර්ගේත් විතරක් නෙවෙයි, අනාගත පරපුරේ හීන හැබෑ කරමින් 2009 දෙසැම්බර් 30 දා ඉහත කී රඟහල පීටර්ගෙ සුරතින්ම විවෘත කෙරුනා. රාජ්‍ය මට්ටමින් හෝ වෙනත් පෞද්ගලික ධන පරිත්‍යාගයන් ද නැතිව පීටර් තනිවම මේ සඳහා වියපැහැදම් කරන්නේ ලෝභ නැතුව.